කඳුළු ය මිදුණු දුම්මල...



මහ මුකලාන අඹරවා පැමිණි
බර  හුළඟින්
දුම්මල ගස
ඇඹරි ඇඹරී
අතු පත්ද
මහ කදද
පොලෝ ගැබ බදාගත් මුල්ද
පුපුර පුපුරා
වැගිරුණු
කඳුළු
තිරිවාණ සදිසි
රළු
දුම්මලව
නොසෙල්වෙද්දී
යකඩ දුම්මල
උගුළුවාගෙන
සිඳ බිඳ කුඩුකර
පෙනේරෙන් පෙරූ
අහුරකින්  පන්දමට ගසා
යකැදුරු
ගිනි ජාලාව මවන යුරු දැක
තැති නොගෙන ඉඳිමි මම

තුරු පතර ඈ
මඩවනා මේ හුළඟ
ගලා යයි මාරුතය
රික්තයේ හිස්තැනට
දරනු බැරි මහ බරකි
කවිකමින් මට උරුම
තැති ගනිමි නිසැක මම

 ඔසවාන  හදගැබෙන්
රික්තයේ මළසුනක
කවිය රඳවමි සැනින

ප්‍රිය සහෘදය
වරදකරුවා නොවෙමි මම

කවිය හා රික්තය
මුණගැසී ඇත එතැන
වරදකරුවෝ උන් දෙදෙන

කැමැත්තක් ඔබ සිතට

1 comment:

  1. යකුන් එළවන්ට
    මිදී ගල්වී
    කුඩු කල
    ගසක කඳුලක්
    ගිනිගනී

    අපූරුයි පුතේ ...කොහොම උපදිනවාද මේ සිතිවිලි

    ReplyDelete