ඔබ ශුද්ධ ය





ඔබ ශුද්ධ ය
ඔබ පවිත්‍ර ය
පිනැති ඔබ සුවඳ ය
මිනිස

ඔබෙ ගමන ඔබේ දිවිය
බෝ කලක සිට ඇරඹිණ
බෝ කල් පවතිනු ද ඇත
කුමට මා නෙළා
මුණි පුදට ගෙන යනු ද?
කවර අයිතිය ඔබට එහි

මම පිබිදුනෙම් මගේ දිවියෙන්
කවර අයිතිය ඔබට එහි
කතා නොකළෙමි ඔබ සමඟ
සමාගම් නැත ඔබ සමඟ
මා කෙරෙහි බලය පතුරන
ඔබට අයිතිය කවුරු පැවරුව

ගඟත දියත පස් ගල් මා සහෝදර
වෙන් කරයි ඔබ මගේ කිය කිය
සිනාසන් දක්වමිය මම
එම සිනා දැක ඔබ කියයි මට
මගේ මල බෝ රම්‍ය වන බව
සිනා වෙමි මම තවත් තොපට ම

මුණි පුදට ඔබ සතුව කවරක්
කුසුම් විලසින් පිපී ඇත්තෙ ද?
තමන් නොනෙළා අනුන් පුදවා
කවර අරුත ද මිනිස කියනුව

ඔබ ශුද්ධ ය
ඔබ පවිත්‍ර ය
පිනැති ඔබ සුවඳ ය
මිනිස