කවිය පැහැර ගමි





රෝස කැකුළු හංසාවලි
අලංකාර කවි සමයෙන්
අහකට අරගමි

ළපටි නුඹේ හංස කැකුළු 
කවියට බර වැඩි

කවිය රැගෙන ළැම නිම්නේ
සෙමින් අතුරවමි

මෘදුව නිනද නාද නගන 
කවිය ඔබෙන් ගමි

අලංකාර කවි සමයෙන්
කවිය පැහැර ගමි





සංක්‍ෂිප්ත කවි





අලුත් වසන්තේ
එරබද්ද පිපිලා
පැණි කුරුල්ලනි




ජීවාංකුර








ඍෂිවරව පෙම් කරන
ප්‍රේමය ආරම්මණා වන
ප්‍රේම් නම් ඍෂි වෙමි
ජීවාංකුර වන 
සත්‍ය සොයනා

හරිත වන ලියෙහි ගැලි ගැලි
භාවනාවෙන් නොමිද ඉමි
තෙක්ල්හී සිටිමි ඇලි ඇලි
පෙම් දැහන්හී ගිලී සැලි සැලි



ඍෂියැ මේ තෙම
දනෝ තුඩ තුඩග රඳවති
එකල්හිම
මායාව වී
මායාව දැක
මායාව මැඩ
ඉන්ද්‍රජාලය පසක් කරගෙන
සැනින අත්හැර දමමි 
....නොපැකිල

දෙපා තියමින් සරන විට බිම
මා වටා දිය'ඟලකි සිහිලළ
සුළං රැල්ලක් සේම එන්නැයි
නේත්‍ර වරයකි තුරුල කැන්දන

දෙතනගල කඳු සරා මුදුනත
ගලා හැලෙනා විරාගී සිත
දරා උහුලා නොගෙන හසපට
මා සලනවද..? මා සලනවද,,.?

අමාවක රැය
අඳුර හිරු කර
නවමු ලොවකදි
ළපල්ලක මල් යහන මඩිමින්
පසක් කෙරුවෙමු
ලෝක සත්‍ය

සොඳුර
ලෝ ධාතුවේ
නැවුම් කල්පය ජීවාංකුර වන
ආහ්ලාදය ඔබ

සංක්‍ෂිප්ත කවි









චන්ඩව ගලන 
සැඩ ගඟේ
ඇරඹුම් උල්පත
අහිංසකද කොතරම්






සංක්‍ෂිප්ත කවි








හේනෙ පැල හොඳා
ගෙදරට වැඩියෙන්
තනි අලියෝ




සංක්‍ෂිප්ත කවි








වදුලයි කියලා කොහොමද
එරබද්ද 
සින්නකර අරං
පැණි කුරුල්ලෝ





සංක්‍ෂිප්ත කවි





හතී අතේ ඉගිලෙන
සමනළයෝ
සැර වැඩිද ? 
මල් පැණි




සංක්‍ෂිප්ත කවි










නෙත් හිරුමැ දල්වන
නිශාචරණයට
අඳුර නැත තවම






සංක්‍ෂිප්ත කවි








හිස්කමේ රුදු නපුර
පෙන්වයි අකුණ









සංක්‍ෂිප්ත කවි








මුනුබුරු දෙස
ආදරෙන් නෙත් යොමන
ගෙඩිපිරුණ
කොස් ගස






නිදහස



ප්‍රිය සහෘදය

අත්හැර දමනු මැන

මාවත්

මගේ කවියත්

නිදහස ලැබෙනු ඇත

ඔබටත්

ඔබේ සිතටත් 

ඔබ මෙමට බෝසත්





පැරද සිය වෙණ වැයුම තත් බිදී දුක්බරව

සැඩ පරුස බස් වෙතින් පලා යන මූසිලට

කතාකර ගුත්තිල හවස්කර වන මැදට

නොදුන් ශිල්පය ගන්න එන්න අද හවස්කර 


රජුන් වෙත කරන මෙහෙ නුඹට බැහැ මට දෙන්න

මම විඳපු ඒ දුකින් ඇවසි පුත මුදවන්න

මේ වනය තුළ නුඹට දෙමි ඉතින් අවසන්ම

මා පවා වයා නැති මෘදු වැයුම් ඉසියුම්ම 


වැයුම් පමණද පුත සුසර කර වීනාව

නිසි පමණ තද කොට බුරුලේද පමණට

නිපුන ශිල්පය හදින් සොයාගෙන රමණීය

අහස් තල හිස්කමේ ගැඹුරු නිල කැඳවන්න 


තිබෙයි පුත යම් තතක තියුණු රාවයෙ ගැඹුර

පිරිමැදුම ඉවසවා ගත නොහැකි හඬ පරම

තියුණු කඩු කිනිස්සෙන් හදට ඇන පාරවන

හදවතින් වෙන් නොකර සුරත පාවී වැයෙන 


ඉතින් පුත කමටහන ගෙන යන්න වනමැදට

තරු පිරුණු වේදිකා නොකැඳවයි නිහඩ බව

හූ කියා කෑ ගසා මත් බඳුන් පෙරළගෙන

කුමන වෙණ වැයුම් වෙද මාලිගේ මගුල්වල

සංක්‍ෂිප්ත කවි





පිනි බින්දුවත් බෙදාගෙන
නිදිකුම්බ මල
පත්‍ර විතරක්
ඇයිද මේ කලබල?







සතුරු කවියෙකු සිටී මට



සතුරු කවියෙකු සිටී මට
මුනිවරෙක් සේ නිස්සද්ද
මර උගුල් අටවන
නමුත් නිහඩව කවි ලියන
කවියෙක්නෙ, සතුරෙකු උනත් මට


උවමනා  නැහැ
සතුරු කවියෙකු තවත්  මට
ඉඩෝරෙන් මා පෙළන
නැවත තෙත් වැසිව, ඉහිරෙන
අසිපතින් හද සිඳින
කිනිස්සෙන් ඉරි අඳින
කවියෙකු හිදී
මා තුළම


සතුරු කවියෙකි මා තුලම
තෙවැනි ලොව යුධවදින
නුතනම අවි දරන
ඔහු මඩින
කවි දරමි රස හඬන
තනි තනිව මා විඳින
කවි දරමි රස හඬන


සංක්‍ෂිප්ත කවි






වැහිළිහිණියෝ
හමුඋනේ නැද්ද තවමත්
මහා වැස්සේ
උඹෙත් පිනිබිඳ









කදෝකිමි උඹ පමණි දන්නේ

සඳ නැතිව මොහොතක් ඈ විඳපු  මහ දුක්
කදෝකිමි උඹ පමණි දන්නේ


අඳුර ඇවිදින්.. කරපු අනදර
උඹ පමණි දන්නේ


බිය දැනී රුදු අඳුර
අනන්තය අරන් මෙහි
ආවදා දුක හිතී
කොදෝකිමි උඹ පමණි උන්නේ


ඇගේ හිත බිය ගැනී සීතලෙන් ගුලි ගැහී
කවුරුන්ද ඈ ලගම ඉන්නේ


කොදෝකිමි එළි සුඟක්
මහද පුරවාපන්න
ඇගේ හද දල්වන්න  ඕනේ

ඊයේ රෑ වැස්සමයි මම ආස උදේට.....

                 
                                මගේ බඹර නිම්නය මම දකින විදියට කවුරුවත් නොදකීම මගේ වාසනාව.මම විඳින විඳීම මටම වෙන්කරගන්න තරම් ආත්මාර්ථකාමියෙක් මම.
                  අවාසනාව ඒ සොභාව විදගන්න කව්රුවත් සුදානම් නැහැ.හැමෝම තම තමන්ගේ රාජකාරි ගෙවල්වලට වැදිලා.ළමයින්ට පන්ති.ඉස්කෝල .අම්මලාට තාත්තලාට තේ වතු.ටිකක් නැවතිලා ගහ වැලට ඇහැ පොවලා බලන්න වෙලාවක් නැහැ...
එදා ඉරිමාව මාව ඇහැරවන්න ඇති.ඒත් ඉර ඇඳට වැටුනම නැගිටින්නයි මම කැමති. අවාසනාවට ඇහැරෙන්න සිද්ද උනා ඉරිමාව කියන මොහොතේදී. ඒ තරමින්ම නින්දත් විඳින කම්මැලියෙක් මම.එදා ඊට කලින් ඇහැරෙන්න උනා.    ඉරිමා  උදයකයි මම දැක්කේ.
                                ඒ සෞන්දර්ය.....
රෑ වැස්සෙන් ගගෙන් එගොඩ කඳු දෙක හේදිලා.මම ඉන්නෙත් එක කන්දක මුදුනේ.අපේ මේ එගොඩ මෙගොඩ කඳු දෙක අතරින් ගලා යන්නේ බඹර ගඟ.කොහොමින් කොහොම හරි ඉස්සරහ කඳු දෙකම හෝදලා දමලා මහ රෑ...
                කහට කියාගෙන කුස්සියට දුවන එක පුරුද්ද.ළමෙක්ට මවුකිරි වගේ බඹරාට කහට.කහට කෝප්පෙත් බොන ගමන්  බිම ඉඳගත්තා.
                           
                              තද නිලක් අරක්ගෙන තිබ්බේ අහස.තවම ඉර රැස් ආවට කොන්ඩගල කන්දෙන් එතුමා මතුවෙලා තිබ්බේ නැහැ.කන්දත් නිලකින් වැහිලා.අහසෙ නිලත් කන්දෙ නිලත් එකට එක හැපෙන මුණගැහෙන කැපෙන රේකාව මගේ අලුත් කවිය වෙන බව එවලේ හිතුනා.....දැනුණා.

                         බලමු ඒ මොහොත කවියක් වෙයිද කියා ....

නොකියවන්න මෙ'කව








ධ්වනි නගන ධ්වනිය බිම හෙළමි
අලංකෘත අලංකාරය අතහරිමි
විරිත් මත් සියලු අනංගය
හී සරක් සේ  
අතහරිමි

උදානය තෙපෙලමි
නිදහස්ය
කවිය

ප්‍රිය සහෘදය
නොකියවනු මැන
මෙ'කව
කියවිය හැකිද
කවිය

මහද පිපුණු කවිය
ලියැවිය නොහැක
මේ අකුරින්

මළ අකුරු මෘත දේහ
මළගම් ගියේ
උල්පත් පෑනෙනි

ඔබ ද කවියෙක්
නොම වේය  අනෙක් සරණක්
නොකියවනු මෙ'කවත්

මම කියෙව්වෙමි මෙ'කව
නොලියුවෙමි මෙ'කව
නොකියවා ඔබ මෙ'කව

කියවන්න ඔබ කවිය

කඳුළු ය මිදුණු දුම්මල...



මහ මුකලාන අඹරවා පැමිණි
බර  හුළඟින්
දුම්මල ගස
ඇඹරි ඇඹරී
අතු පත්ද
මහ කදද
පොලෝ ගැබ බදාගත් මුල්ද
පුපුර පුපුරා
වැගිරුණු
කඳුළු
තිරිවාණ සදිසි
රළු
දුම්මලව
නොසෙල්වෙද්දී
යකඩ දුම්මල
උගුළුවාගෙන
සිඳ බිඳ කුඩුකර
පෙනේරෙන් පෙරූ
අහුරකින්  පන්දමට ගසා
යකැදුරු
ගිනි ජාලාව මවන යුරු දැක
තැති නොගෙන ඉඳිමි මම

තුරු පතර ඈ
මඩවනා මේ හුළඟ
ගලා යයි මාරුතය
රික්තයේ හිස්තැනට
දරනු බැරි මහ බරකි
කවිකමින් මට උරුම
තැති ගනිමි නිසැක මම

 ඔසවාන  හදගැබෙන්
රික්තයේ මළසුනක
කවිය රඳවමි සැනින

ප්‍රිය සහෘදය
වරදකරුවා නොවෙමි මම

කවිය හා රික්තය
මුණගැසී ඇත එතැන
වරදකරුවෝ උන් දෙදෙන

කැමැත්තක් ඔබ සිතට

දියර ඉර



තද  ඉඩෝරෙට
මළ දොළේ
ගල් බොරළු වැලි
ඉවත දා
පාරු ගල තෙක් කැන
සොයා පාදා
සුළැඟිලි දියර ඉර
මතුකර
ගලා යා නොදී
රැකගනිමි
ළිඳක් කැන

උදෑසන
දුවමි ළිඳට

ආශ්චර්යකි
ජලතරව නිල පැළඳ
පෙන්වාය මගෙ මුහුණ
කැඩපතකි නිසසලව

දියර ඉර
නොපෙනේය
හැංගිලා දිය තුලම